Skip to main content

MoT Editor

ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සිංගප්පූරුවේ පැවති Asia Tech x Singapore (ATxSG) 2026 සමුළුවට පසුගියදා සහභාගී විය. එම සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලයේ (SSITC) සාමාජිකයින් සමඟ විශේෂ ජාලකරණ සැසියක් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2026 මැයි 20 දින සංවිධානය කරන ලදී.

මෙහිදී සහභාගී වූවන් සාදරයෙන් පිළිගත් මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා, ඩිජිටල් ආර්ථිකය, නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය. 2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ AI Singapore ආයතනය අතර කෘත්‍රිම බුද්ධි සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මහ කොමසාරිස්වරයා විශේෂයෙන් සිහිපත් කළේය. ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලය පිහිටුවීම දෙරටේ තාක්ෂණික පරිසර පද්ධතීන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ තාක්ෂණික පාර්ශවකරුවන් අතර සම්බන්ධතාවය පහසු කිරීම සඳහා මහා කොමසාරිස් කාර්යාලය විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද දැනුවත් කළේය.

මෙහිදී ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලයේ (SSITC) සභාපති මහේෂ් කාවින්ද මහතා සහ එහි ලේකම් ගීෂාන් විජේනායක මහතා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හරහා කවුන්සිලයේ දැක්ම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දක්වන යෝජනා මාලාවක් ගෙනහැර දැක්වූහ. එම යෝජනා ප්‍රධාන වශයෙන් සයිබර් ආරක්ෂාව, දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි.

ගරු එරංග වීරරත්න මහතා ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් කවුන්සිලයේ සාමාජිකයින් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් බෙදා ගත්තේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදන පරිසර පද්ධතියට සහය වීම සඳහා විශේෂඥ දැනුම, තාක්ෂණය සහ හවුල්කාරිත්වයන් උපයෝගී කර ගැනීමේ අවස්ථා පිළිබඳව සහභාගී වූවන් මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාවට SSITC හි සාමාජිකයින්, සිංගප්පූරුවේ තාක්ෂණික අංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය සහභාගී වූහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා විධිමත් පද්ධතියක් ඔස්සේ වර්ධනය කිරීමේ ජාතික මට්ටමේ විශේෂ සාකච්ඡාවක් 2026 ජුනි 03 ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ගරු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබීය.

වේගයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සේවා ප්‍රමාදයන් මඟහැරවීම සඳහා නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය. මෙහිදී රාජ්‍ය සේවය "පුද්ගලයන් මත පදනම් වූ" සාම්ප්‍රදායික ක්‍රමවේදයක සිට "පද්ධති මත පදනම් වූ" නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ පවතින තාක්ෂණික බිය ඉවත් කර, ඔවුන් තුළ ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීමත්, නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සයිබර් ප්‍රහාර සහ දත්ත අවදානම් වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ දැනුම ලබා දීමත් මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනා ගැනුණි.

සයිබර් ආරක්ෂණය (cybersecurity), කෘතිම බුද්ධිය (AI), නව රාජ්‍ය සේවාවන් සහ අනෙකුත් විෂය කරුණු වැනි ප්‍රධාන වශයෙන් නැගී එන ක්ෂේත්‍රයන්හි රාජ්‍ය සේවකයන්ගේ ධාරිතාව වර්ධනය කිරීමේ වැදගත්කම මෙන්ම, සිය දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයන්ට එකවර පුහුණුව ලබා දීමේදී පවතින ප්‍රායෝගික අභියෝග ද හඳුනා ගනිමින්, ඔන්ලයින් ඊ-ලර්නිං වේදිකාවක් (online e-learning platform) සඳහා වූ උපායමාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම වැඩපිළිවෙළ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පමණක් නොව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුත්තක් බව සාකච්ඡා වූ අතර, අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍යතා හඳුනා ගැනීමෙන් පසුව විද්‍යාත්මක ව්‍යාපෘති යෝජනාවක් සැකසීමට නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ගරු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, අමාත්‍යාංශ උපදේශක උපුල් අබේසිරිවර්ධන මහතා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ (CODL) විශාඛා නානායක්කාර මහත්මිය ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් "SME Nexus" 2026 ජාතික උපායමාර්ගික රාමුව පසුගිය මැයි 13 වන දින කොළඹ The Grand Maitland හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් එළිදක්වනු ලැබීය. මෙරට ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%කට වඩා නියෝජනය කරමින්, දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දැවැන්ත දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය මුහුණ දෙන ව්‍යුහාත්මක බාධක ඉවත් කර, ඔවුන් සැබෑ ආර්ථික ක්‍රියාකාරීන් ලෙස ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රාජ්‍ය දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන කුළුණු 11ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. මෙහිදී තාක්ෂණික හා ඩිජිටල් සවිබල ගැන්වීම යටතේ ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීමට නියමිත අතර, 'තනි කවුළු' (Single-window) සේවා සහ 'SME Connect' ඇමතුම් මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයාට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීමට පියවර ගෙන ඇත. තවද, ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සඳහා 'වර්ධන අරමුදලක්' (Growth Fund) පිහිටුවීම සහ දේශීය නිෂ්පාදන ගෝලීය අගය දාමයන් වෙත සම්බන්ධ කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම ජාතික වැඩපිළිවෙළ හරහා සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් බැහැරව ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දෙන 'සබඳතා නිලධාරීන්' (Relationship Officers) පත් කිරීම සහ නොමිලේ උපදේශන සේවාවන් සැපයීම සිදු කෙරේ. පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ (SIBA) ඒකකය හරහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම මඟින් ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

Join BestWeb.LK 2026 to gain recognition for your ‘.lk’ website. The competition is open to all ‘.lk’ domain holders. Submit your application within the registration period to be part of this prestigious event.

How to Register

  • Click the “APPLY NOW” button or log in to rs.domains.lk to submit your application.

  • If you’re not listed as the Registrant, Admin, Billing, or Technical contact for the domain, a confirmation email will be sent to the Registrant and Admin for approval.

  • gov.lk, sch.lk, and ac.lk domains require an authorized individual to submit a sealed and signed letter for verification.

  • Letters can be emailed to bestweb@domains.lk or uploaded via the system.

  • A fixed fee of Rs. 6,000 applies to all categories.

  • Review the evaluation criteria outlined in the Terms and Conditions to ensure compliance before submitting your application.

Link : https://bestweb.lk/apply/

MoT Editor

ගෝලීය තරුණ ව්‍යවසායකත්ව මෙහෙයුමක ශ්‍රී ලාංකීය සලකුණ සනිටුහන් කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වුණු "Hult Prize Sri Lanka Nationals 2025/2026" ජාතික අවසන් මහා තරගය මැයි 10 වන දින කොළඹ Commercial Credit Training Academy පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. APIIT ආයතනය මෙරට සත්කාරකත්වය දැරූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ නවෝත්පාදන හැකියාවන් සහ ව්‍යවසායකත්ව චින්තනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මඟ පෙන්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැමිණ සිටි පිරිස අමතමෛන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමේ වගකීම තරුණ ව්‍යවසායකයන් සතු වන බවයි. තාක්ෂණය හුදෙක් නවෝත්පාදනයක් පමණක් නොව, එය වගකීම් සහගතව සහ සියලු දෙනා ඇතුළත් වන ආකාරයෙන් භාවිත කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ග්‍රාමීය ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් ඉලක්ක කරගනිමින් ඩිජිටල් විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ නවෝත්පාදන පද්ධතීන් සඳහා රජය ලබාදෙන සහාය තුළින් තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළම සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන බවත්. මේ නිසා තරගයෙන් ඔබ්බට ගොස් සිය අදහස් සැබෑ ලෝකයේ ගැටලු විසඳන ව්‍යාපෘති බවට පත් කරන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ හුදෙක් මහා පරිමාණ ආයතන මත නොව, තාක්ෂණය වගකීම් සහගතව හසුරුවන තරුණ නවෝත්පාදකයන් මත බව එතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයට Hult Prize පදනමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හම්දි බෙන් එල් එල්මි සහ කලාපීය කළමනාකාරිනී සුප්‍රියා ජන්ග්‍රේ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. APIIT සභාපති බන්දුල එගොඩගේ මහතා, Hult Prize ජාතික අධ්‍යක්ෂ තවිරු හෙට්ටිආරච්චි මහතා සහ APIIT ව්‍යාපාරික පාසලේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 03

MoT Editor

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු Tô Lâm මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, දෙරට අතර ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ වියට්නාමයේ 57 වන මෙහෙයුම් කමිටු ජාතික උපදේශක සභාවේ සාමාජික Nguyen The Trung මහතා අතර අද දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී පොදු ඩිජිටල් යටිතල පහසුකම්, මුදල් රහිත ගෙවීම් පද්ධති, සයිබර් ආරක්ෂාව, දත්ත මධ්‍යස්ථාන සහ කෘතිම බුද්ධිය (AI) සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය. ශ්‍රී ලංකාව 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සහ ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ඉලක්කයක් සපුරා ගනිමින් කලාපීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ජාතික දැක්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, මෙරට දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා සඳහා වියට්නාමයේ සහයෝගය ලබාදීමට ද එකඟතාවය පළවිය.

දෙරට අතර දැනට පවතින කර්මාන්ත මට්ටමේ සබඳතා අගය කළ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ SLASSCOM ආයතනය සහ වියට්නාමයේ VINASA සංගමය අතර ඇති අවබෝධතා ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වියට්නාමයේ හැනොයි (Hanoi) නුවර කේන්ද්‍ර කරගත් තාක්ෂණික හා නවෝත්පාදන පද්ධතිය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති කැමැත්ත ද මෙහිදී අවධාරණය කෙරිණි.

වියට්නාම නියෝජිත පිරිස ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තිය, රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණය, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ AI කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර, දෙරටේම ඩිජිටල් පරිවර්තන ගමන්මඟ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දැනුම හුවමාරුව සහ ප්‍රායෝගික හවුල්කාරීත්වය වැදගත් බව දෙපාර්ශ්වයේම අවධානයට යොමුවිය.

මෙම සාකච්ඡාව සඳහා එක්වූ වියට්නාම නියෝජිත පිරිසක්ද, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රමුඛත්වයෙන් යුත් අමාත්‍යංශ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද විය.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ එම ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 28 දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ පවතින සුබසාධක යාන්ත්‍රණය තුළ ඇති අඩුපාඩු මඟහරවා ගනිමින්, නවීන තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාව වෙත ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූයේ ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ දැනට පවතින ක්‍රමවේදයේ නිර්ණායක සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳවයි. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ නිරවද්‍යතාව ඉහළ නැංවිය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව පනත් සංශෝධනය කිරීම වැනි දිගුකාලීන විසඳුම් මෙන්ම, පද්ධති වැඩිදියුණු කිරීම වැනි කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මීට අමතරව, ක්ෂේත්‍ර මට්ටමින් පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එහිදී පුරප්පාඩු පිරවීම, ග්‍රාම නිලධාරීන් අස්වැසුම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කරවා ගැනීම සහ ගෙවීම් ක්‍රමවේදයන්හි පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර රාශියක් හඳුනා ගන්නා ලදී. රාජ්‍ය යාන්ත්‍රණය සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් සහන අවශ්‍යම ජනතාව වෙත ප්‍රමුඛතාව ලබා දීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්‍ය උපාලි පන්නිලගේ මහතා, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී වූහ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

image 04image 05image 06

MoT Editor

වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල අනුව යමින් මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් වන මෙරට පළාත් පාලන 341ම සේවා සැපයීම් හා ගෙවීම් මාර්ගගත ක‍්‍රම ඔස්සේ සිදුකිරීමට හැකි ආයතන තත්ත්වයට පත්කිරීම සඳහා වන ඩිජිටල්කරණ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන වඩා වේගවත් කිරීමටත් එම පහසුකම් දෝෂ රහිත, වඩා පහසු, ඉක්මන් හා ලාභදායී සේවාවන් ලෙස ජනතාවට සමීප කිරීමටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ගරු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ, යූනියන් පෙදෙස, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

බදු ගෙවීම්, සේවා ලබාගැනීම සඳහා සිදුකරන වෙන්කරවා ගැනීම්, ජල බිල්පත් ගෙවීම්, බලපත‍්‍ර හා සහතික ලබාගැනීම්, වීදි ලාම්පු නඩත්තුව හා කළමනාකරණය, රථ ගාල් වෙත සිදුකරන ගෙවීම්, පැමිණිලි යොමු කිරීම් ආදී සියලූ සේවා හා ගෙවීම් පළාත් පාලන ආයතන වෙත පැමිණීමකින් තොරව සිදු කරගැනීමට හැකිවන තත්ත්වයට පත්කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. අමතරව පළාත් පාලන ආයතනයන්හි සිදුවන නාස්තිය, දූෂණය අවම කිරීමත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල හරහා සිදු වේ.

නෝට්ටු හා කාසි භාවිතය අවම කරගනිමින් වැඩි වශයෙන් ඩිජිටල් පද්ධති හරහා ගනුදෙනු කිරීම මගින් එක් රැස්වන දත්ත ඔස්සේ ආර්ථිකය චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම රටක් ලෙස ඉදිරි සැලසුම් කිරීම් හා තීරණ ගැනීම් සඳහා ද විශාල සහායක් වේ.

මීට පෙරාතුව පළාත් පාලන ආයතන සියල්ලම එකට එකතු කරගනිමින් ක්‍රියාත්මක වූ පොදු වැඩපිළිවෙලක් නොතිබූ නිසා එක් එක් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් විවිධ තාක්ෂණික විසඳුම් මේ වෙනුවෙන් නිර්මාණය කරගෙන තිබුණ ද මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, කිසිදු රාජ්‍ය නොවන බාහිර පාර්ශ්වයක් සමග සම්බන්ධ නොවී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට හැකිවී ඇති බැවින් පළාත් පාලන ආයතන වෙත කිසිඳු වියදම් දැරීමකින් තොරව මෙම පහසුකම් ලබාදී සියලූම පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙල ඉතාමත් ඉක්මණින් එළිදැක්වීමට නියමිත අතර පළාත් පාලන ආයතන හා ජනතාව වැඩි වශයෙන් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල සමග සම්බන්ධ කර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව දිරිගැන්වීමේ ත්‍යාග හා ප්‍රතිලාභ සහිත ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ශ‍්‍රී ධනපාල ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරී මහත්ම මහත්මීන්, GovTech සහ ලංකා පේ (LankaPay) නියෝජිත මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක් විය.

image 01image 02image 03image 04image 05image 06

MoT Editor

ගරු ඩිජිටල් ආර්ථිකය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අමාත්‍යාංශයේ වැඩ, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා ආශිර්වාද මැද මිත්‍රත්වය වැඩිදියුණු කරමින් උත්සවශ්‍රීයෙන් ඇරඹිණි.

උත්සව සභාව ඇමතූ අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා කියා සිටියේ ජාත්‍යන්තර භූ දේශපාලන තත්ව යටතේ ඉදිරි දුරස්ථව වැඩ කිරීම සඳහා වූ ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද පිලිබඳවත්, මෙම වසරේ අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන උපරිමකරණය කිරීමටත් මූලිකත්වය දී කටයුතු කරන බවයි.

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුලු, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශ නිලධාරීන් සහභාගි විය.

image 01image 02image 03image 04image 05

MoT Editor

2030 වසර වන විට රජයේ සියලුම ගනුදෙනු 100%ක් ඩිජිටල්කරණය කිරීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක දැවැන්ත ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ ගොඩනැගීමටත් රජය සැලසුම් කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා එම ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීමට කටයුතු කරමින් තිබේ. මෙම වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස, Mastercard ආයතනය විසින් සංවිධානය කරන ලද 'Access Unlocked v2.0' ඩිජිටල් ගෙවීම් පද්ධති දියත් කිරීමේ වැඩසටහන ඊයේ (25) දින ගරු, ඩිජිටල් ආර්ථික ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ගරු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සඳහා අඩු පිරිවැයකින් යුත් ඩිජිටල් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මූල්‍ය ඇතුළත් කිරීම් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බවයි. මෙම සංසදයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට Mastercard SoundBox සහ SoftPOS වැනි නව්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම දිරිගන්වන සුළු කරුණකි. Mastercard Merchant Cloud මගින් බල ගැන්වෙන මෙම සේවාවන් හරහා කුඩා ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය රටේ සමස්ත ආර්ථික පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඉවහල් වනු ඇති බවයි.

රජය සහ පෞද්ගලික අංශය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය මෙරට ව්‍යාපාර බල ගැන්වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රධානතම සාධකය වේ. ඩිජිටල් තාක්ෂණය වැළඳ ගැනීම හරහා විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ගෝලීය වෙළඳපොළ සමඟ ශ්‍රී ලංකාව බද්ධ කිරීමටත් රජය කැපවී සිටින අතර නව්‍ය මූල්‍ය විසඳුම් ප්‍රචලිත කිරීම මගින් සෑම ව්‍යවසායකයෙකුටම ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ හිමිකර දීම මූලික අරමුණයි.

image 01image 02image 03image 05image 04image 06