තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන BCS ශ්‍රී ලංකා අංශය (The Chartered Institute for IT - Sri Lanka Section) විසින් සංවිධානය කරන ලද "Tech Leaders Connect ‘26" සමුළුව පසුගියදා කොළඹ Courtyard by Marriott හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. මෙරට ඩිජිටල් ආර්ථිකයේ මීළඟ දශකය සහ ඒ සඳහා ඇති අභියෝග මෙන්ම අවස්ථා පිළිබඳව ක්ෂේත්‍රයේ විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු, ඩිජිටල් ආර්ථිකය නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් දැක්ම සහ එය යථාර්ථයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ එරංග වීරරත්න මහතා අවධාරණය කළේ, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් දැක්ම විය යුත්තේ හුදෙක් තාක්ෂණය භාවිතා කිරීම පමණක් නොව, එය ජන ජීවිතය සහ ආර්ථිකය සමඟ බද්ධ වූ පරිපූර්ණ ඩිජිටල් පද්ධතියක් (Digital Ecosystem) නිර්මාණය කිරීම බවයි. එම දැක්ම සාර්ථක කර ගැනීම සඳහා මූලික ප්‍රමුඛතා කිහිපයක් එක් විය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සෑම පුරවැසියෙකුටම පහසුවෙන් ළඟා විය හැකි ආරක්ෂිත ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. තවද, දත්ත මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමවේදයක් හරහා විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ගෝලීය වෙළඳපොළ ජයගත හැකි නවෝත්පාදන සංස්කෘතියක් රට තුළ ප්‍රවර්ධනය කිරීමත් රජයේ මූලික අරමුණක් බව එතුමා සඳහන් කළේය.
මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේදී රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම සහ ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමවේදය කඩිනම් කිරීම වැනි ප්‍රමුඛ ක්‍රියාවලීන් හරහා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙම ගමනේදී පවතින ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ අභියෝග පිළිබඳව ද අමාත්‍යවරයා විග්‍රහයක යෙදුණි. විශේෂයෙන්ම පවතින පැරණි නීතිමය රාමු යාවත්කාලීන කිරීම, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ දක්ෂ වෘත්තිකයින් මෙරට තුළ රඳවා ගැනීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීමේදී මතුවන විශාලතම බාධාවන් බව එතුමා පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Sysco LABS ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂේර කව්දවත්ත මහතා විසින් පවත්වන ලදී. ඉන් අනතුරුව පැවති විශේෂ මණ්ඩල සාකච්ඡාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ද සහභාගී වූහ. එහිදී ක්ෂේත්‍රයේ සූදානම, ධාරිතාව ගොඩනැගීම සහ වෘත්තීය ආයතනවල වගකීම පිළිබඳව වැදගත් කරුණු රැසක් එයිචිරෝ ඇලන්සෝ ඩෝල් මහතාගේ මෙහෙයවීම යටතේ සාකච්ඡා කෙරිණි.


